පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය) තනතුර සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී, අසාධාරණ සහ පක්ෂපාතී ලෙස සිදුකර ඇති බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව, එම තනතුර සඳහා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය) ආචාර්ය ඉරෝමි නිසංසලා මැණිකේ ආරියරත්න පත් කරන ලෙස අධිකරණය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට නියෝග කර ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් සිදුකළ අදාළ තේරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ආචාර්ය ආරියරත්න විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබිණි.
ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මඬුල්ල විසින්, ඇය එම තනතුරට පත් නොකිරීමට ගෙන තිබූ තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
පෙත්සම ගොනු කළ 2022 සැප්තැම්බර් 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඇය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය) තනතුරට පත් කරන ලෙසද අධිකරණය නියෝග කර ඇත.
එමෙන්ම, 33 වැනි වගඋත්තරකරුට ලබාදී තිබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය) පත්වීමද අධිකරණය විසින් අහෝසි කර තිබේ. කෙසේ වෙතත්, 32 වැනි වගඋත්තරකරු වූ පූජ්‍ය ආචාර්ය දිවුලපැලැස්සේ විමලානන්ද හිමියන්ට ලබාදී තිබූ II ශ්‍රේණියේ පත්වීම තහවුරු කර ඇති අතර, එයද 2022 සැප්තැම්බර් 22 වන දින සිට පූර්වගාමීව බලපැවැත්වෙන පරිදි සකස් කරන ලෙස දැනුම් දී ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස සේවය කරන ආචාර්ය ආරියරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බඳවාගැනීමේ ක්‍රියාවලියට එරෙහිව මෙම නීතිමය පියවර ගෙන තිබිණි.
පෙත්සම සලකා බැලූ අධිකරණය නිරීක්ෂණය කර ඇත්තේ I ශ්‍රේණියේ තනතුර සඳහා සුදුසුකම් ලැබූ එකම අපේක්ෂිකාව ඇය බවත්, බෞද්ධ අධ්‍යයනය සම්බන්ධයෙන් විශේෂිත අධ්‍යයන සුදුසුකම් ඇය සතුව තිබූ බවත්ය.
ඇය බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් සහ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, වසර 12කට වැඩි අධ්‍යයන අත්දැකීම්ද සතුව ඇති බව අධිකරණය අවධානයට ගෙන තිබේ.
තේරීම් ක්‍රියාවලියට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, තීරණ ගැනීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී, පක්ෂපාතී සහ අසාධාරණ ලෙස සිදුව ඇති බවට අධිකරණය නිගමනය කර තිබේ.
පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සමඟ රන්මලී මීපාගල පෙනී සිටියහ.




