මීගලෑව, ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගීව වැඩ විසූ 71 හැවිරිදි කොබෙයිගනේ ගුණරතන ස්වාමීන් වහන්සේ වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් ඊයේ (10) උදෑසන අපවත් වී තිබේ.
උදෑසන දානය වළඳා නැවත සිය භාවනා කුටිය වෙත වඩිමින් සිටියදී උන්වහන්සේ මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
දහවල් දානය සඳහා උන්වහන්සේ වැඩම නොකිරීම හේතුවෙන් සේනාසනයේ අනෙකුත් හිමිවරුන් ඒ පිළිබඳව සොයාබලා ඇති අතර, එහිදී භාවනා කුටි වෙත දිවෙන වන ලැහැබ සහිත මාර්ගයක තිබී උන්වහන්සේගේ දේහය හමුවී තිබේ.
හිමිවරුන් 19 නමක් වැඩවසන ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනය සහ අවට ප්‍රදේශය නිරන්තරයෙන් වන අලි තර්ජනයට ලක්වන බවත්, මෙවැනි අලි ප්‍රහාර සහ හානි නිතර සිදුවන බවත් ප්‍රදේශවාසීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් මීගලෑව පොලිසිය සහ වනජීවී කාර්යාලය එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.




