ග්‍රාම නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව ඇතුළු වෘත්තීය ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය පියවර ගෙන තිබියදීත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම පිළිගත නොහැකි බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවලදී ඔවුන් ඉදිරිපත් කළ ගැටලු හඳුනාගෙන ඇති බවත්, ජනාධිපතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ගැටලු ඉදිරි අයවැය යෝජනාවක් මඟින් විසඳීමට එකඟතාව පළකර ඇති බවත්ය.
එම කරුණු වෘත්තීය සමිති නායකයන්ටද පැහැදිලි කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත්, ඉන්ධන දීමනාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය විසින් ඊයේ (10) සහ අද (11) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කර තිබේ.
මේ හේතුවෙන් සේවා ලබාගැනීම සඳහා ග්‍රාම නිලධාරී කාර්යාල වෙත පැමිණි ජනතාව දුෂ්කරතාවට පත්ව සිටිති.
මේ අතර, සිය ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබාදී නොමැති බව පවසමින් වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේය.
ඔහු පැවසුවේ අයවැය මඟින් දීමනාව ලබාදෙන තෙක් තාවකාලික දීමනාවක් ලබාදීමට රජයට හැකි නම් වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවිය හැකි බවයි. එසේ නොමැති නම්, ග්‍රාම නිලධාරීන්ගේ ක්ෂේත්‍ර රාජකාරි සීමා කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කළ හැකි බවත්, එවැනි විසඳුමක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.




