ජපාන රැඳවුම් මධ්‍යස්ථානයකදී මියගිය ශ්‍රී ලාංකික විශ්මා සඳමාලි සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ජපාන විපක්ෂ මන්ත්‍රීවරියක් ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කටයුතු පිළිබඳ කමිටුවේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ජපාන මාධ්‍ය වාර්තා කළේ, නිපෝන් ඉෂින් පක්ෂයේ මන්ත්‍රීවරියක වන මිසුහෝ උමේයිමුරා, පසුගිය 16 වැනිදා සංක්‍රමණ පාලන සහ සරණාගතයින් පිළිගැනීමේ සංශෝධන පනත් කෙටුම්පතක් පිළිබඳ කමිටු සාකච්ඡාවකදී විශ්මා සඳමාලිගේ මරණය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
ඇය ප්‍රකාශ කර ඇත්තේ විශ්මා සඳමාලි කිසියම් පුද්ගලයෙකුගේ ඉල්ලීමක් මත ආහාර වර්ජනය කිරීම හේතුවෙන් මියයන්නට ඇති බවයි.
2017දී ශිෂ්‍ය වීසා මත ජපානයට ගිය විශ්මා සඳමාලි වීසා නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් 2020දී අත්අඩංගුවට ගෙන තිබූ අතර, නගෝයා ආගමන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී 2021 මාර්තු 6 වැනිදා මියගොස් තිබුණි.
ඇයගේ මරණයෙන් පසු ජපානයේ සංක්‍රමණික නීති සංශෝධනය කළ යුතු බවටද දැඩි අවධානයක් යොමුවිය.
මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ නිපෝන් ඉෂින් පක්ෂයේ මහලේකම් ෆුමිටකේ ෆුජිටා පවසා ඇත්තේ, ඇය කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කර ඉදිරියේදී විනය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
එමෙන්ම, මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්මා සඳමාලිගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කර තිබේ.




