රට පුරා විදුලිබල සම්ප්‍රේෂණ උපපොළ 16ක් ආශ්‍රිතව ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති වාණිජ මට්ටමේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිවල ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
මෙම බැටරි පද්ධති මැයි සහ ජුනි මාසවලදී අවස්ථා තුනකදී කොළඹ වරාය හරහා මෙරටට රැගෙනවිත් තිබේ. අනුරාධපුර උපපොළ ආසන්නයේ පෞද්ගලික සමාගමක් විසින් ඉදිකරන බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සියයට 85කින් පමණ අවසන් කර ඇත.
දිවා කාලයේ සූර්ය බල පද්ධති මගින් නිපදවන අතිරික්ත විදුලිය මෙම බැටරි පද්ධති තුළ ගබඩා කර, රාත්‍රී කාලයේ අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට මුදාහැරීමට නියමිතය.
මෙමගින් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට මෙන්ම රාත්‍රී කාලයේ ඩීසල් විදුලි බලාගාරවලින් ලබාගන්නා විදුලි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වනු ඇතැයි සඳහන් වේ.
එක් බැටරි බලශක්ති ගබඩා ව්‍යාපෘතියකින් මෙගාවොට් 10ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට ලබාදීමට හැකි වන අතර, පාලන හා කළමනාකරණ කටයුතු බලශක්ති අමාත්‍යාංශයට අයත් National System Operator Ltd. (NSO) සමාගම විසින් සිදු කිරීමට නියමිතය.
බැටරි පද්ධතිවල නඩත්තු කටයුතු අදාළ සමාගම් වෙත පැවරෙන අතර, පරිසරයට අවම බලපෑමක් සහිත ස්ථාවර බලශක්ති සැපයුමක් ලබාදීම මෙම ව්‍යාපෘතිවල අරමුණයි.
මෙම ව්‍යාපෘති මගින් අත්පත් කරගන්නා ප්‍රතිලාභ ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සඳහන් වේ.
තවත් උපපොළ 23ක් සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතුද මේ වන විට සිදු කෙරෙමින් පවතී.
ව්‍යාපෘති ඉදිකිරීම් සිදුකරන සමාගම්වල බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පද්ධතිවල ගබඩා කරන විදුලිය අවශ්‍යතාව අනුව ජාතික විදුලිබල පද්ධතියට ලබාදීම සැප්තැම්බර් මස මුලදී ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි.




