වැලිගම, පරණ කඩේ වෙරළ තීරයට ගොඩගසා තිබූ 21 හැවිරිදි විදේශීය සංචාරකයෙකුගේ මළසිරුරක් සොයාගෙන ඇති බව වැලිගම පොලීසිය පවසයි.
පසුගිය සෙනසුරාදා පස්වරුවේ ටියුනීසියානු සංචාරකයින් පිරිසක් පරණ කඩේ වෙරළ තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ නිරතව සිටියදී මෙම සංචාරකයා අතුරුදන් වී තිබේ.
පොලීසිය සඳහන් කළේ හදිසියේ ඇති වූ තද සුළං තත්ත්වයත් සමඟ හටගත් සැර දියවැල් පහරකට හසුවීමෙන් 21 හැවිරිදි සංචාරකයා මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්ව ඇති බවයි.
සිද්ධියෙන් අනතුරුව පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්, වෙරළ ආරක්ෂක බලකාය සහ පෞද්ගලික කිමිදුම්කරුවන් එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, මුහුදේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇත.
ඊයේ උදෑසන අදාළ සංචාරකයාගේ මළසිරුර එම වෙරළ තීරයටම ගොඩගසා තිබියදී සොයාගැනීමත් සමඟ සෝදිසි සහ ජීවිතාරක්ෂක මෙහෙයුම් අවසන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිගම මූලස්ථාන පොලීසිය විසින් සිදුකරනු ලබයි.




