2022 වර්ෂයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නාඩු සහල් සඳහා නියම කර තිබූ උපරිම සිල්ලර මිල වූ රුපියල් 220 ඉක්මවා, රතු නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 225 බැගින් අලෙවි කිරීම සඳහා වෙළෙඳපොළට සැපයීම සම්බන්ධයෙන් පොළොන්නරුවේ ‘නිව් රත්න සහල් පුද්ගලික සමාගම’ සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිව පැවරූ නඩුවේ තීන්දුව ලබාදී තිබේ.
පසුගිය අගෝස්තු 06 වැනිදා මෙම නඩුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ තීන්දුව ලබාදී ඇත.
ඒ අනුව, අදාළ චෝදනාවට ‘නිව් රත්න සහල් පුද්ගලික සමාගම’ වරදකරු කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති හා විධානයන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විත්තිකාර සමාගමට රුපියල් මිලියනයක (රුපියල් ලක්ෂ 10ක) දඩ මුදලක් නියම කිරීමට අධිකරණය පියවර ගෙන ඇත.
මෙම නඩුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණි.




