අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ‘කංජිපානි ඉම්රාන්’ අත්අඩංගුවට ගැනීම සඳහා මැලේසියානු පොලිසිය, ඉන්ටර්පෝල් සහ ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කණ්ඩායමක් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව ඇති අතර, ඉම්රාන් සැඟවී සිටින බවට සැකකෙරෙන ස්ථාන කිහිපයක මේ වන විටත් පරීක්ෂණ සහ වැටලීම් සිදුකර ඇත.
සැකකරු මැලේසියාවෙන් පලායාම වැළැක්වීම සඳහා එරට ගුවන්තොටුපළ, වරාය සහ මුහුදු මාර්ග ඇතුළු පිටවීමේ මාර්ග පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වේ.
කංජිපානි ඉම්රාන්ගේ මැලේසියානු සබඳතා සහ ඔහුගේ අපරාධ ජාලයට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් සම්බන්ධයෙන්ද මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
මැලේසියානු පොලිස් භාරයේ සිටින ඔහුගේ සමීපතමයකු වන ‘රත්මලානේ සයිමා’ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඉම්රාන්ගේ ජාලය පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව සඳහන් වේ.
රත්මලානේ සයිමා අත්අඩංගුවට ගැනීමෙන් පසු කංජිපානි ඉම්රාන් තම ස්ථානය වෙනස් කර ඇති බවද වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අදාළ ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.




