කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඉතියෝපියාවට යවා එහිදී සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක ග්‍රහණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි.
ආරක්ෂක අමාත්‍යාංශය මගින් පොලිස්පතිවරයා වෙත ලබාදුන් තොරතුරකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ යාපනය, වව්නියාව සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25, 26 සහ 27 වන තිදෙනෙකු ඩුබායි හරහා ඉතියෝපියාවට යවා පසුව කැනඩාවට රැගෙන යන බවට පොරොන්දු වී ඇති බවයි.
මෙම විදේශගත කිරීම සඳහා සැකකරු විසින් ගුවන් ටිකට්පත් සහ වීසා ලබාදීමේ නාමයෙන් රුපියල් ලක්ෂ 64ක පමණ මුදලක් ලබාගෙන ඇති බවත්, කැනඩාවට පැමිණීමෙන් පසු එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 100 බැගින් ලබාගැනීමට එකඟතාවක් ඇති කරගෙන තිබූ බවත් හෙළි වී ඇත.
කෙසේ වෙතත්, ඉතියෝපියාවට පැමිණීමෙන් පසු එරට ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් විසින් එම පුද්ගලයින් තිදෙනා පැහැරගෙන ඇති අතර, ඔවුන් මුදා ගැනීම සඳහා එක් අයෙකු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 30,000ක කප්පම් මුදලක් ඉල්ලා තිබේ.
ඒ අනුව, වින්දිතයින්ගේ ඥාතීන් විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ අදාළ පුද්ගලයා වෙත රුපියල් ලක්ෂ 200කට ආසන්න මුදලක් ලබාදී ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වැඩිදුර විමර්ශන මත කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි එම විදේශගත කිරීමේ කටයුතුවලට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඉතියෝපියානු බලධාරීන් විසින් පැහැරගැනීමට ලක්වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනා මුදාගෙන ඇති අතර, සිද්ධියට සම්බන්ධ පකිස්ථාන ජාතිකයින් සිව්දෙනෙකු සහ ඉතියෝපියානු ජාතිකයෙකුද එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම ලාංකිකයින් තිදෙනා යළි දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඉතියෝපියාවේ ක්‍රියාත්මක අපරාධ කණ්ඩායම් අතර සම්බන්ධතා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.




