තවත් බන්ධනාගාර පහක ගැටුම් ඇති කර විශාල ව්‍යසනයක් සහ රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, මීගමුව සහ මහර බන්ධනාගාරවල ඇති වූ ගැටුම් පිටුපසද මෙම සංවිධානාත්මක කණ්ඩායම සිටින බවට තොරතුරු හෙළි වෙමින් පවතින බව සඳහන් වේ.
බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දුම්බර, කළුතර, ගාල්ල, කොළඹ මැගසින් සහ වැලිකඩ කාන්තා බන්ධනාගාරවලද ගැටුම් ඇති කිරීමේ සැලසුම් පවතින බවයි.
බන්ධනාගාර තුළ ගැටුම් ඇති කර රට තුළ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය කිරීමේ මෙම සැලසුම පිටුපස දේශපාලනඥයන් කිහිපදෙනෙකු, බන්ධනාගාරයේ උසස් නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද වාර්තාවේ දැක්වේ.
මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් වේ.
මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් එහි දේපළවලට රුපියල් කෝටි 15කට අධික අලාභයක් සිදුව ඇති අතර, එම ගැටුමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.
මේ අතර, රටේ සියලුම බන්ධනාගාරවල ආරක්ෂාව තර කර ඇති බවද වාර්තා වේ.




