මීගමුව–මිනුවන්ගොඩ මාර්ගයේ බොලවලාන ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරකින් පසු කන්ටේනර් රථයකට ගිනි තබා අලාභ හානි සිදුකළ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20, 25 සහ 26 වන මීගමුවේ දාගොන්න සහ කිඹුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.
අනතුර සිදුව ඇත්තේ මාර්ගය හරහා හැරවෙමින් තිබූ කන්ටේනර් රථයක ගැටුණු මීගමුව දෙසට ධාවනය වූ යතුරුපැදි දෙකක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුවය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 වන දාගොන්න ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ අතහැර දමා තිබූ තවත් යතුරුපැදියක්ද පොලිසිය භාරයට ගෙන ඇති අතර, CCTV දර්ශන සහ අනෙකුත් සාක්ෂි පදනම් කරගෙන කන්ටේනර් රථයට හානි සිදුකිරීමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළේය.




