කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක භෝජනාගාරයේ උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ ආයතනයකට රුපියල් ලක්ෂ 5ක (රු. 500,000) දඩයක් නියම කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීන්දුව ලබාදී ඇත.
2026 ජූලි 9 වන දින අනුරාධපුර ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී, රුපියල් 120ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ මිලිලීටර් 1000ක පානීය ජල බෝතලයක් රුපියල් 150කට අලෙවි කර ඇති බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ නිකුත් කර ඇති අංක 96 දරන විධානය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටුවේ පිහිටි අදාළ ආයතනයට එරෙහිව නඩු පවරා තිබුණි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ, දුම්රිය භෝජනාගාර ඇතුළු ඕනෑම ස්ථානයක උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් සම්බන්ධයෙන් 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.




