සීගිරිය නගරයට ඇතුළු වූ වන අලින් තිදෙනකු නිවසක වත්තේ තිබූ කොස් ගසකින් කොස් ආහාරයට ගැනීම සඳහා අඩි 200ක් පමණ දිග තාප්පයක් පෙරළා දමා වත්තට ඇතුළු වී ඇති බව වාර්තා වේ.
අදාළ නිවසේ හිමිකරු පැවසුවේ අලුයම 3.30ට පමණ වන අලින් තිදෙනා තාප්පය බිඳ දමා වත්තට ඇතුළු වී කොස් ආහාරයට ගත් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කළද, වාහනයක් නොමැති බව පවසමින් ඔවුන් ස්ථානයට නොපැමිණි බව නිවැසියෝ චෝදනා කරති. නිවස වනජීවී දෙපාර්තමේන්තු කාර්යාලයට ඉතා ආසන්නයේ පිහිටා තිබියදීද ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔවුහු සඳහන් කළහ.
සීගිරිය ප්‍රදේශවාසීන් පවසන්නේ තමන් දිගු කලක සිට වන අලි තර්ජනයට මුහුණ දෙමින් නිරන්තර බියෙන් ජීවත්වන බවයි. දිවා සහ රාත්‍රී කාලවල සීගිරියට පැමිණෙන සංචාරකයින්ද මෙම වන අලි තර්ජනයට ලක්වීමේ අවදානමක පසුවන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.




