ලොව පුරා විපරීත කාලගුණ තත්ත්වයන් ඇති කරන එල් නීනෝ සංසිද්ධිය මෙවර දැඩි බලපෑම් ඇති කළ හැකි බැවින් එයට මුහුණදීමට සියලු දෙනා සූදානම් විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි.
පැසිෆික් සාගර කලාපයෙන් ආරම්භ වී ඇති මෙම එල් නීනෝ සංසිද්ධිය මේ වනවිට දුර්වල මට්ටමක පැවතියද ඉදිරියේදී එය වර්ධනය වීමේ හැකියාවක් පවතින බවට පුරෝකථනය කර ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක දැඩි වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර, ඇතැම් ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිඳී යාම හේතුවෙන් වගාබිම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබේ.
පවතින තත්ත්වය යටතේ මෙවර මහ කන්නයේ වී වගාව ඔක්තෝබර් මස මුල් සතියේදී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය අවසන් වන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
එල් නීනෝ දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සඳහා සූදානම පිළිබඳව රජයේ මුදල් කාරක සභාව හමුවේ පැවති සාකච්ඡාවකදීය.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව මගින් ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති ආපදා කළමනාකරණ අරමුදල තවමත් විධිමත්ව ක්‍රියාත්මක නොවන බවද එහිදී අනාවරණය විය.




