මොනරාගල බන්ධනාගාරයේ රඳවා සිටින සිය සැමියාට ලබාදීම සඳහා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ 34 හැවිරිදි ගැබිනි කාන්තාවක් මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සියඹලාණ්ඩුව, පොතුවිල් පාර, කරඹගොඩයාය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය, බන්ධනාගාරගතව සිටින සිය සැමියා හමුවීමට පැමිණි අවස්ථාවේදී මොනරාගල නගරයේ වෙළෙඳසැලකින් සෙරප්පු යුගලයක් මිලදී ගෙන ඇත.
පසුව ඇය එම සෙරප්පු යුගලයේ අඩිය ඉවත් කිරීමට උත්සාහ කරන ආකාරය දුටු පුද්ගලයෙකු ඒ පිළිබඳව මොනරාගල නගර පොලිස් මුරපොළට දැනුම් දී තිබේ.
ඒ අනුව පොලිස් නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී ඇයගේ අත්බෑගයේ තිබූ විදුලි පන්දම් චාජරයක් හමුවී ඇත. එය පරීක්ෂා කිරීමේදී සෙරප්පු තුළ සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය පාර්සලයක් සොයාගෙන තිබේ.
එහි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12,400ක් තිබූ බව පොලීසිය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට බන්ධනාගාරගතව සිටින සිය සැමියාට ලබාදීම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගෙන ආ බව සැකකාරිය ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇති බව වාර්තා වේ.
සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගැබිනි කාන්තාවක් බැවින් අවශ්‍ය වෛද්‍ය හා සෞඛ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇති බව මොනරාගල මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද ද සිල්වා මහතා පැවසීය.
මොනරාගල නගර පොලිස් මුරපොළේ උප පොලිස් පරීක්ෂක දයානන්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.




