වත්තල පල්ලියවත්ත, කදිරාන පාලම අසල පිහිටි උත්සව ශාලාවක පැවති උපන්දින සාදයක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සුමේධ නමැති පුද්ගලයෙකි. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
පොලිසියට අනුව, සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හඳුන්වන "කුඩු රොෂාන්" නමැත්තාගේ පුත්‍රයාගේ උපන්දින සාදය අදාළ උත්සව ශාලාවේ පැවැත්වී තිබූ අතර, වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී තිබුණේ එම පුද්ගලයා බවට සැක කෙරේ.
කෙසේ වෙතත්, වැරදීමකින් ඔහුගේ සමීපතමයෙකු වූ සුමේධ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෙඩික්කරුවන් පැමිණි බව කියන කළු පැහැති මෝටර් රථය පසුව ජාඇල ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇත.
මෙම ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායම් දෙකක් අතර කලක සිට පැවති ආරවුලක් සමඟ සම්බන්ධ විය හැකි බවට පොලිසිය සැක පළ කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




