පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප භාවිත කරමින් සහ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් WhatsApp, Telegram ඇතුළු සමාජ මාධ්‍ය හරහා සිදුකරන මුදල් වංචා සම්බන්ධයෙන් මහජනතාව දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා පොලිසිය අනතුරු අඟවා තිබේ.
මෙවැනි වංචා සම්බන්ධ පැමිණිලි අඛණ්ඩව ලැබෙමින් පවතින අතර, සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබුණද මහජනතාව තවදුරටත් මෙම වංචාවලට ගොදුරු වන බව පොලිසිය සඳහන් කළේය.
වංචාකරුවන් ව්‍යාජ WhatsApp සහ Telegram ගිණුම් නිර්මාණය කරමින් පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ලෙස හඳුන්වා දෙමින් ජනතාව රවටන බව පොලිසිය පවසයි.
"ඔබගේ ජාතික හැඳුනුම්පත භාවිත කර වංචාවක් සිදුවී ඇත", "ඔබගේ බැංකු ගිණුම මුදල් විශුද්ධිකරණයට භාවිත කර ඇත", "ඔබට එරෙහිව නඩු පවරනු ඇත" යනුවෙන් බිය ගන්වා OTP අංක, බැංකු තොරතුරු සහ මුරපද ලබා ගැනීමට උත්සාහ කරන බවද සඳහන් කර ඇත.
තවද, "Verification" කිරීම හෝ "Freeze කළ ගිණුම නැවත සක්‍රීය කිරීම" යන මුවාවෙන් මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීමට හෝ USDT වැනි ක්‍රිප්ටෝ මුදල් මිලදී ගෙන යැවීමට බලපෑම් කරන බවද පොලිසිය පවසයි.
රජයේ හෝ පෞද්ගලික ආයතන කිසිවක් දුරකථනය, WhatsApp හෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් විස්තර, කාඩ්පත් අංක, CVV, මුරපද හෝ OTP අංක ඉල්ලා නොසිටින බව පොලිසිය අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොලිසිය, CID හෝ ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු අවස්ථාවක පුද්ගලික WhatsApp අංක හරහා විමර්ශන සිදු නොකරන අතර, මුදල් තැන්පත් කරන ලෙස ඉල්ලා නොසිටින බවද දැනුම් දී ඇත.
මෙවැනි වංචා සම්බන්ධ තොරතුරු 071 8592918, 071 8591765 හෝ 011 2300756 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටී.




