ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඓතිහාසික වැදගත්කමකින් යුතු කන්නියා උණුදිය උල්පත් පුරාවිද්‍යා භූමියේ බෞද්ධ විහාරයක් සඳහා මුල්ගල් තැබීමේ කටයුත්තක් සිදුකර ඇති බව වාර්තා වේ.
ත්‍රිකුණාමලය ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ සංවිධානයෙන් එම පුරාවිද්‍යා භූමියේ පිහිටි දාගැබ සංරක්ෂණ කටයුතු සඳහා පැවති ආරම්භක වැඩසටහනකට දිස්ත්‍රික් ලේකම් W.G.M. හේමන්ත කුමාර, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුරංග පෙරේරා ඇතුළු පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.
මේ අතර, එම ප්‍රදේශයේ නව ඉදිකිරීම් සිදුකරන බවට දෙමළ දේශපාලන හා සමාජ සංවිධාන චෝදනා කර තිබේ.
ත්‍රිකුණාමලය මහාධිකරණයේ HCT/Writ/590/2019 නඩුවට අදාළ නියෝගය අනුව කන්නියා උණුදිය උල්පත් ප්‍රදේශයේ නව ඉදිකිරීම් සිදු නොකළ යුතු බවට නියෝග කර තිබූ බව ඔවුන් පෙන්වා දෙයි.
එහෙත් එම අධිකරණ නියෝගය නොතකා, පුරාණ පිල්ලයාර් කෝවිලක නටබුන් පවතින ස්ථානයක බෞද්ධ විහාරයක් ඉදිකිරීමේ කටයුතු සිදුකරන බවට ඔවුහු චෝදනා කරති.
කන්නියා ප්‍රදේශය දෙමළ සහ හින්දු ජනතාවට ආගමික, ඓතිහාසික හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන බැවින්, එහි සිදුවන වෙනස්කම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ සමාජ සංවිධාන කනස්සල්ල පළ කර ඇත.




