නල්ලතන්නිය පොලිස් වසමේ මෝහීනි ඇල්ල අසලදී ත්‍රීරෝද රථයක් ඇළකට පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
2026.07.22 වන දින උදෑසන මුල්ගම දෙස සිට ලක්ෂපාන දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් මෝහීනි ඇළට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ රියදුරු, පාසල් සිසුන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයෙකු ගමන් කරමින් සිට ඇත.
අනතුරින් තුවාල ලැබූ රියදුරු සහ අනෙක් පිරිමි පුද්ගලයා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 46 සහ 26 වන නල්ලතන්නිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ පාසල් සිසුන් තිදෙනා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට මාරු කර යවා ඇත.




