නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ජූලි 16 වන දින සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරු මත අපරාධය සඳහා භාවිත කළ යතුරුපැදියේ පැදිකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් 2026 ජූලි 19 වන දින සවස බියගම පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී සහ නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධයට යොදාගත් යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 හා 29 වයස්වල පසුවන රණාල සහ පල්ලම ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.




