මැදපෙරදිග කලාපයේ හදිසියේ ඇති වූ යුදමය තත්ත්වයක් හේතුවෙන් ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාලයක් අහසේ රැඳී සිටි ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් ආරක්ෂිතව ගොඩබැස්වීමට නියමුවන් සමත්ව තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා සඳහන් කළේ, කුවේට් සහ දමාම් බලා පියාසර කළ මෙම ගුවන් යානා දෙක අදාළ ගුවන් අවකාශ වසා දැමීම හේතුවෙන් එම කලාපයට ආසන්න ඉහළ අහසේ රවුම් ගසමින් සිටි බවයි.
පසුව නියමුවන් විසින් එම ගුවන් යානා ආරක්ෂිතව අදාළ ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇති අතර, අද (15) උදෑසන වනවිට එම ගුවන් යානා දෙක යළිත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-229 දරන ගුවන් යානය ඊයේ (14) පස්වරු 5.10ට කටුනායක සිට කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පිටත්ව ගොස් ඇති අතර, යූ.එල්.-253 දරන ගුවන් යානය එදින රාත්‍රී 6.36ට දමාම් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පිටත්ව ගොස් තිබේ.
මෙම ගුවන් යානා දෙකම ඒ-321 නියෝ වර්ගයට අයත් ගුවන් යානා වේ.




