දඹුල්ල පොලිස් වසමේ විහාර හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
2026 ජූලි 14 වන දින රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති අතර, පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද තොරතුරක් මත දඹුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ දඹුල්ල, විහාර හන්දිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකරු සහ යාබද නිවසේ පදිංචිකරුවෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු විසින් පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් 67 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




