හදිසි
Island edition
··
LankaNews
දේශීය

අටපිරිකර අලෙවිසැල් 92ක් වැටලීමෙන් භාණ්ඩ 436ක් භාරයට

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවියේදී නීතිමය අවශ්‍යතා අනුගමනය කරන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් හා ව…

By Site Administrator2 මිනිත්තු කියවීම
අටපිරිකර අලෙවිසැල් 92ක් වැටලීමෙන් භාණ්ඩ 436ක් භාරයට

පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවියේදී නීතිමය අවශ්‍යතා අනුගමනය කරන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

2026 අගෝස්තු 10 වැනිදා ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන යටතේ දිවයින පුරා සාර්ථක වැටලීම් 92ක් සිදුකර ඇති අතර, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් 35ක්ද සමඟ මේ වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 127ක් සිදුකර ඇත.

2015 ජුනි 11 වැනිදා නිකුත් කළ අංක 1918/20 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ අංක 55 දරන විධානය යටතේ අදාළ භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කර තිබේද යන්න සහ නීතිමය අවශ්‍යතා පිළිපදිනවාද යන්න මෙහිදී පරීක්ෂා කර තිබේ.

එමෙන්ම වෙළෙඳුන් විසින් පවත්වාගෙන යා යුතු බිල්පත්, ඉන්වොයිසි සහ අනෙකුත් අදාළ ලේඛන සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකර ඇත.

වැටලීම්වලදී අනාවරණය වූ බහුතර උල්ලංඝනයන් අංක 55 දරන විධානයට අදාළ වන අතර, අටපිරිකර, තනිපට සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩවල හෝ ඒවායේ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් නොකිරීම ප්‍රධාන වශයෙන් අනාවරණය වී තිබේ.

නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩ ඒකක 436ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

මෙහිදී අටපිරිකරවල පිටත ඇසුරුම පමණක් පරීක්ෂා නොකර, අහඹු ලෙස තෝරාගත් අටපිරිකර විවෘත කර එහි ඇතුළත් භාණ්ඩද පරීක්ෂා කර තිබේ.

එම පරීක්ෂාවලදී ඇතැම් අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම් පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැඳුණු දැලි පිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතාද අනාවරණය වී ඇත.

මෙවැනි අක්‍රමිකතා පිටත ඇසුරුම පමණක් නිරීක්ෂණය කිරීමෙන් හඳුනාගත නොහැකි බැවින්, විශේෂයෙන් ආගමික අවශ්‍යතාවක් සඳහා සම්පූර්ණ අටපිරිකරක් මිලදී ගැනීමේදී එහි ඇතුළත් භාණ්ඩ පිළිබඳවද අවධානය යොමු කරන ලෙස අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

වැටලීම්වලදී අනාවරණය වූ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරමින් සිටී.

අටපිරිකර හා පිරිකර අලෙවියේදී භාණ්ඩවල සහ ඇසුරුම්වල නියමිත තොරතුරු සඳහන් කිරීම, පාරිභෝගිකයාට ලබාදෙන භාණ්ඩවල නිසි තත්ත්වය තහවුරු කිරීම සහ අදාළ නීතිමය අවශ්‍යතා පිළිපැදීම වෙළෙඳුන්ගේ වගකීමක් බවද අධිකාරිය අවධාරණය කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න