දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 50ක් පමණක් පවතින බව එම දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති දුම්රිය එන්ජින් සංචිතයේ එන්ජින් 98ක් පැවතියද, මේ වන විට ධාවන කටයුතු සඳහා යොදාගනු ලබන්නේ එන්ජින් 50ක් පමණක් බව අදාළ වාර්තාවේ දැක්වේ.
දුම්රිය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා දුම්රිය එන්ජින් 74ක් අවශ්‍ය බවද එහි සඳහන් වේ.
2024 වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 53ක් පැවති බවද වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, ප්‍රධාන වශයෙන් කාර්යාල දුම්රිය සඳහා භාවිත කරන බලවේග කට්ටල මේ වන විට 118ක් පමණක් පවතින බවද සඳහන් වේ. සංචිතයේ බලවේග කට්ටල 242ක් තිබුණද, සාමාන්‍ය දුම්රිය සේවා පවත්වාගෙන යාම සඳහා 193ක් අවශ්‍ය බව වාර්තාවේ දැක්වේ.
2024 වසරේදී සංචිතයේ බලවේග කට්ටල 258ක් පැවති අතර, එම වසරේ ධාවනයට එක්කර තිබූ බලවේග කට්ටල සංඛ්‍යාව 148කි.
දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින හිඟය හේතුවෙන් දෛනිකව දුම්රිය ගමන්වාර රැසක් අවලංගු වන බවත්, ඇතැම් එන්ජින් සහ බලවේග කට්ටලවල පවතින දෝෂ හේතුවෙන් දුම්රිය ප්‍රමාදවීම්ද ඉහළ ගොස් ඇති බවත් දුම්රිය වෘත්තීය සමිති පවසති.
දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ගණනාවක් දිගින් දිගටම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කර ඇතත්, ඒ සම්බන්ධයෙන් ඔහු සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වෘත්තීය සමිති පවසති.
ඒ අනුව, දිගින් දිගටම වාර්තා වන ගැටලුකාරී තත්ත්වයන් සහ ඊට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් දුම්රිය වෘත්තීය සමිති 27ක් එක්ව ලබන 17 වැනිදා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩ වර්ජනය සඳහා තම සංගමයද සහය ලබාදෙන බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතුව පවසයි.
එම එකමුතුවේ ලේකම් අනිල් කුමාර නවරත්න මහතා සඳහන් කළේ, තම සාමාජිකයින් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ඉල්ලා අවස්ථා කිහිපයකදී සාකච්ඡාවක් ඉල්ලා සිටියද, මේ වන තෙක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම අවස්ථාව ලබාදී නොමැති බවයි.
ඒ අනුව, ලබන 17 වැනිදා ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනයට තම සංගමයද එක්වන බව ඔහු පැවසීය.
මේ අතර, වැඩ වර්ජනයට එක්වන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාව අද පස්වරු 3.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.




