දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 45%කට ආසන්න අගයක් ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ සහ ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එච්.එස්.ඩී. හේරත් මහතා පැවසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව මේ වන විට 33%කට ආසන්න අගයක් ගන්නා බවයි.
අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල පවතින ජල ප්‍රමාණය මේ වන විට 20%කට ආසන්න අගයක පවතින බවද ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, මේ වන විට යල කන්නයේ අවසන් අදියරට පැමිණ ඇති බැවින් කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් ජලය පවතින බවද ඔහු පැවසීය.
එමෙන්ම මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද පානීය ජල ගැටලුවක් ඇති නොවනු ඇති බවට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.
තවද, ඉදිරි මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මේ වන විට සැලසුම් සකස් කර ඇති බවත්, අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වගා කටයුතු හෙට (15) ආරම්භ කිරීමට පෙර පැවති කන්න රැස්වීම්වලදී තීරණය කර ඇති බවත් ඔහු පැවසීය.
මීට අමතරව, මහ කන්නයේ අනෙකුත් වාරිමාර්ග ව්‍යාපාරවල වගා කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ජලාශවල පවතින ජල ප්‍රමාණය සහ වර්ෂාව පිළිබඳ පුරෝකථන අනුව සැලසුම් සකස් කරමින් පවතින බවත්, බොහෝ වාරිමාර්ග ව්‍යාපාරවල වගා කටයුතු හෙට දිනයේදී ආරම්භ කිරීමට තීරණය වී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




