ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ක්‍රියාත්මක සිව් අවුරුදු වැඩසටහන 2027 වසරේ දෙවන භාගය වනවිට සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඉහළ ගොස් ඇති පසුබිමක වුවද, IMF වැඩසටහන යටතේ ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි බවට විශ්වාසයක් පවතින බවද ඔහු සඳහන් කර තිබේ.
Bloomberg Television හි ‘The Asia Trade’ වැඩසටහන සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත්තේ IMF වැඩසටහනේ මීළඟ සමාලෝචනය මේ වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.
එම සමාලෝචනය සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, 2027 වසරේ දෙවන භාගය වනවිට සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකම් (EFF) වැඩසටහන සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විධායක මණ්ඩලය පසුගිය මැයි මාසයේදී පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සම්පූර්ණ කළ අතර, ඒ යටතේ ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695කට ආසන්න මුදලක් ලබාගැනීමට අවස්ථාව හිමිවිය.
ඒ අනුව IMF වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට ආසන්න වේ.
2022 වසරේ ඇති වූ දැඩි ආර්ථික අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා IMF වැඩසටහන ප්‍රධාන කාර්යභාරයක් ඉටුකර ඇති අතර, රාජ්‍ය මූල්‍ය, මුදල් ප්‍රතිපත්ති, පාලන ක්‍රමවේද සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.
ගෝලීය ආර්ථික පරිසරයේ පවතින අභියෝග මධ්‍යයේ වුවද IMF වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සැලසුම් කළ පරිදි සිදුවන බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.




