2027 සිට 2029 දක්වා කාලය තුළ සූර්ය බලයෙන්, සුළං බලයෙන් සහ බැටරි බලයෙන් මෙගාවොට් 2,700කට අධික ධාරිතාවක් විදුලි පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම කාලය තුළ සූර්ය බලයෙන් මෙගාවොට් 1,392ක්, සුළං බලයෙන් මෙගාවොට් 370ක් සහ බැටරි බලයෙන් මෙගාවොට් 1,000ක් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.
වහල මත සවි කර ඇති සූර්ය පැනල මගින් ජනනය කරන විදුලිය පසුගිය කාලයේදී විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
විදුලි උත්පාදනයේදී ඇතැම් අවස්ථාවල අතිරික්තයක් ඇති වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විශේෂයෙන් ඉරිදා සහ නිවාඩු දිනවල අතිරික්ත විදුලි ජනනයක් සිදුවන බව සඳහන් කළේය.
ඒ අනුව, විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවල සූර්ය බලයෙන් ජනනය කරන විදුලිය සීමා කිරීමට සිදුවන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, බැටරි බලශක්ති ගබඩා පද්ධති හඳුන්වාදීමත් සමඟ දිවා කාලයේදී වැඩිපුර ජනනය වන විදුලිය ගබඩා කර රාත්‍රී කාලයේදී බෙදාහැරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




