2026/27 මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කළ යුතු කාලසටහනක් යෝජනා කර තිබේ.
පවතින ජල සම්පත කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අරමුණින් කලාප අනුව වගා කටයුතු ආරම්භ කළ යුතු දින මෙහිදී යෝජනා කර ඇත.
ඒ අනුව, වලව කලාපයේ ඔක්තෝබර් 01 වැනිදාත්, අල්ල කලාපයේ ඔක්තෝබර් 15 වැනිදාත් වී වගා කටයුතු ආරම්භ කිරීමට යෝජනා කර තිබේ.
කවුඩුල්ල කලාපයේ නොවැම්බර් 01 වැනිදාත්, ඇළහැර කලාපයේ නොවැම්බර් 10 වැනිදාත් වගා කටයුතු ආරම්භ කිරීමට යෝජනා කර ඇත.
ජල කළමනාකරණ ලේකම් කාර්යාලය පෙන්වා දී ඇත්තේ ලබන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට අවම වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, ජලය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ඔක්තෝබර් මස මුලදී වී වගා කටයුතු ආරම්භ කිරීම වඩාත් සුදුසු බවයි.
එල්නිනෝ තත්ත්වයත් සමඟ ඇතිවිය හැකි කාලගුණික වෙනස්වීම් කෘෂිකර්මාන්තයට බලපෑම් කළ හැකි බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කරමින් ගොවීන් සිය වගා කටයුතු පූර්ව සැලසුම් කිරීමේ වැදගත්කම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද පෙන්වා දී තිබේ.
ඉදිරි මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය තරම් පොහොර පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කර ඇති අතර, රටට අවශ්‍ය තරම් බීජ වී පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
මෙවර මහ කන්නයේදී හෙක්ටයාර් ලක්ෂ අටක වී වගාවක් සිදුකිරීමට රජය අපේක්ෂා කරයි.
තාක්ෂණික නිර්දේශවලට අනුකූලව නිසි වේලාවට වගා කටයුතු ආරම්භ කිරීමේ වැදගත්කම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර තිබේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති තාක්ෂණික පැකේජයන් අනුගමනය කිරීමට ගොවීන් දිරිගැන්වීම සහ ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.
2026/27 මහ කන්නයේ වගා කටයුතු සැලසුම් කිරීම සම්බන්ධයෙන් වූ මෙම පූර්ව සාකච්ඡාව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇතුළු ආයතනවල නිලධාරීහු ඊට සහභාගී වූහ.
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කර ඇත්තේ මෙය පූර්ව සාකච්ඡාවක් වන අතර, අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය සැප්තැම්බර් 18 වැනිදා ගන්නෝරුවේදී පැවැත්වෙන අවසන් සාකච්ඡාවේදී ගැනීමට නියමිත බවයි.




