අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10ක සහ මෙගාවොට් පැය 40ක ධාරිතාවකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරිණි.
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව ඉහළ නැංවීම සහ ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමේ අරමුණින් ස්ටෝර්එක්ස් පුද්ගලික සමාගමේ දායකත්වයෙන් මෙම පද්ධතිය ස්ථාපනය කර තිබේ.
දිවා කාලයේදී නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩා කර, රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ යන අවස්ථාවලදී ජාතික පද්ධතියට මුදාහැරීමට මෙම බැටරි ගබඩා තාක්ෂණය භාවිත කළ හැකිය.
ස්ටෝර්එක්ස් පුද්ගලික සමාගමේ සමස්ත ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක සමස්ත ධාරිතාවකින් යුත් බලශක්ති ගබඩා පද්ධති 13ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව සඳහන් වේ. අනුරාධපුරයේ ස්ථාපිත පද්ධතිය එහි පළමු ව්‍යාපෘතියයි.
ඉතිරි ව්‍යාපෘති ඉදිරි මාස දෙක තුන තුළ අවසන් කර ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බවද මෙහිදී ප්‍රකාශ කෙරිණි.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, බැටරි ගබඩා පද්ධති හරහා දිවා කාලයේ අතිරික්තව නිපදවන සූර්ය බලය ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව ලැබෙන බවත්, රාත්‍රී කාලයේ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ පිරිවැය අඩු කිරීමට හැකි වන බවත්ය. තවදුරටත් බැටරි ගබඩා ව්‍යාපෘති සඳහා මෙගාවොට් 400, 250 සහ 150 වැනි ධාරිතාවන්ගෙන් ටෙන්ඩර් කැඳවා ඇති බවද ඔහු පැවසීය.
මෙම ව්‍යාපෘතිය හරහා පවිත්‍ර විදුලි ජනනය වැඩි කිරීම, ජනන පිරිවැය අඩු කිරීම සහ කාර්යක්ෂම හා විශ්වාසදායක විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා අවස්ථාව සැලසෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.




