නීති විරෝධී ලෙස උපයාගන්නා ලද රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබාගෙන ඇති බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
2020.05.14 වන දින පෑලියගොඩ පොලිස් ස්ථානය මගින් ජීප් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර තිබේ.
එම සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමය මත මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්ද විමර්ශනයක් ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි.
එම විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු මත, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් පහත සඳහන් දේපළ උපයාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
මහර, කඩවත ප්‍රදේශයේ පර්චස් 19.90ක ඉඩමක් සහ එහි ඉදිකර ඇති දෙමහල් නිවසක් – දළ වටිනාකම රුපියල් ලක්ෂ 500ක් පමණ.
සිංහාරමුල්ල, කැලණිය ප්‍රදේශයේ පර්චස් 18ක ඉඩමක් සහ එහි ඉදිකර ඇති දෙමහල් නිවසක් – දළ වටිනාකම රුපියල් ලක්ෂ 500ක් පමණ.
විමර්ශනයට අනුව, අදාළ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මෙම දේපළ මිලදී ගෙන ඇති බවට සැලකේ.
ඒ අනුව, රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් එම දේපළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ 2026.09.10 දින සිට දින 14ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබාගෙන තිබේ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.





