හදිසි
Island edition
··
LankaNews
ලෝකය

ගුවන් යානයේ මගීන් බේරාගත් නියමුවාට UAE ගෞරවය

ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ FZ1073 දරන ෆ්ලයිඩුබායි ගුවන් යානයේ සිදු වූ ආරක්ෂක සිදුවීමකදී සිය ජීවිතය පරදුවට තබමින් මගීන් සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ ප්‍රධාන ගුවන් නියමු කැ…

By Site Administrator2 මිනිත්තු කියවීම
ගුවන් යානයේ මගීන් බේරාගත් නියමුවාට UAE ගෞරවය

ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ FZ1073 දරන ෆ්ලයිඩුබායි ගුවන් යානයේ සිදු වූ ආරක්ෂක සිදුවීමකදී සිය ජීවිතය පරදුවට තබමින් මගීන් සිය ගණනකගේ ජීවිත බේරාගැනීමට ක්‍රියා කළ ප්‍රධාන ගුවන් නියමු කැප්ටන් ස්මිට් මච්ඡාර්ගේ ක්‍රියාකලාපය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වයේ ඉහළම ඇගයීමට ලක්ව තිබේ.

ඩුබායි ඔටුන්න හිමි කුමරු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ෂෙයික් හම්දාන් බින් මොහොමඩ් බින් රාෂිඩ් අල් මක්තූම් පසුගියදා රෝහලට පැමිණ, වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින කැප්ටන් මච්ඡාර්ගේ සුවදුක් විමසා තිබේ.

එහිදී නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, කැප්ටන් මච්ඡාර් ඉහළම මට්ටමේ ධෛර්යය, වගකීම සහ මිනිස් ජීවිත කෙරෙහි අසීමිත කැපවීමක් පෙන්නුම් කළ විශිෂ්ට ගුවන් නියමුවකු බවයි.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමස්ත නායකත්වයේ ගෞරවය සහ ප්‍රශංසාව ඔහුට හිමිවන බවත්, එවැනි වීරයකු තම රටේ ජාතික ගුවන් සේවයේ කොටස්කරුවකු වීම පිළිබඳව සමස්ත ජාතියම ආඩම්බර වන බවත් ෂෙයික් හම්දාන් පවසා ඇත.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ FZ1073 ගුවන් යානයේ නියමු කුටිය තුළදී සහායක නියමුවා විසින් හදිසි අවස්ථාවලදී භාවිත කරන පොරවකින් ප්‍රධාන නියමු කැප්ටන් මච්ඡාර්ට පහර දී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයාගේ මූලික පරීක්ෂණවලට අනුව, සහායක නියමුවා ගුවන් යානයේ පාලනය අත්පත් කරගෙන ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ කර ඇත.

ප්‍රහාරයෙන් බරපතළ ලෙස තුවාල ලැබුවද, කැප්ටන් මච්ඡාර් නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත් වී තිබේ. ඒ හේතුවෙන් ගුවන් සේවකයන්ට සහ මගීන්ට වහාම නියමු කුටියට ඇතුළු වී ප්‍රහාරකයා මෙල්ල කිරීමට අවස්ථාව ලැබී ඇත.

පසුව ගුවන් යානයේ පාලනය යළි ලබාගෙන සෞදි අරාබියේ තබූක් ගුවන්තොටුපළ වෙත යානය සුරක්ෂිතව ගොඩබැස්වීමට හැකි වී තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර ඇත්තේ, ප්‍රධාන නියමුවා ඇතුළු ගුවන් සේවකයන් සහ මගීන් දැක්වූ ක්ෂණික හා බුද්ධිමත් ප්‍රතිචාරය හේතුවෙන් විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බවයි.

තබූක්හිදී මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව, ඉන්දීය ජාතිකයකු වන කැප්ටන් මච්ඡාර් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා නැවත එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙනවිත් තිබේ.

අබුඩාබිහි ඉන්දීය තානාපති කාර්යාලය තහවුරු කර ඇත්තේ ඔහු මේ වනවිට රෝහල්ගතව ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් තවදුරටත් සිදුකරනු ලබයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න