එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ flydubai FZ1073 ගුවන් යානයේදී සහායක නියමුවා විසින් සිදුකළ බව කියන කඩාකප්පල්කාරී උත්සාහයක් අතරතුර, පිහි ප්‍රහාරයකට ලක්වූ ප්‍රධාන ගුවන් නියමු ස්මිට් මච්ඡාර් මගීන් 174 දෙනෙකුගේ ජීවිත බේරාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (30) සිදුවූ මෙම සිද්ධියේදී සහායක නියමුවා විසින් ප්‍රධාන නියමුවාට පිහියෙන් ඇන ගුවන් යානය කඩා වැටීමට සැලැස්වීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේදී ගුවන් යානය තත්පර 30කටත් අඩු කාලයකදී අඩි 14,000ක් (මීටර් 4,267ක්) පමණ පහළට වැටී තිබේ.
බරපතළ තුවාල ලබා සිටියද, රුධිරයෙන් තෙත්ව සිටි ස්මිට් මච්ඡාර් නියමු කුටියේ දොර අගුල විවෘත කිරීමට සමත් වී ඇති බව සඳහන් වේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු X පණිවුඩයක් මගින් මච්ඡාර්ගේ ධෛර්යය අගය කරමින්, ඔහු ඊශ්‍රායල සහ අනෙකුත් රටවල පුරවැසියන් ඇතුළු පුද්ගලයන් 174 දෙනෙකුගේ ජීවිත බේරාගත් බව සඳහන් කර තිබේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද මච්ඡාර්ගේ ධෛර්යය අගය කරමින් ඔහු “සැබෑ වීරයෙකු” ලෙස හඳුන්වා ඇත.
මච්ඡාර් මේ වන විට තබූක් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුම්බායි පදිංචිකරුවෙකු වන මච්ඡාර්, flydubai සමාගමට එක්වීමට පෙර ඉන්දියාවේ SpiceJet ගුවන් සමාගමේ වසර 11කට වැඩි කාලයක් සේවය කළ පළපුරුදු නියමුවෙකු බව වාර්තා වේ.
නියමුවන් දෙදෙනා අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් පදනම් විරහිත මත පළ කිරීමෙන් වළකින ලෙස flydubai සමාගම ඉල්ලා තිබේ.
විමර්ශන අවසන් වන තෙක් ඊශ්‍රායලය වෙත යන සහ එරටින් පිටත්වන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද flydubai පියවර ගෙන ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.




