නේපාලයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු සහ ජන ආශ්තා (Jana Aastha Weekly) සතිපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කිෂෝර් ශ්‍රෙස්තා අත්අඩංගුවට ගැනීම දකුණු ආසියානු මාධ්‍යවේදී සංසදය (SJF) දැඩි ලෙස හෙළා දැක තිබේ.
ඔහු වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසද SJF ඉල්ලා සිටී. 2018 රහස්‍යතා පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කත්මණ්ඩු දිස්ත්‍රික් පොලිස් කාර්යාලයට සහ කත්මණ්ඩු නිම්න අපරාධ විමර්ශන කාර්යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් අගෝස්තු 12 වැනිදා සවස ලලිත්පූර්හිදී ශ්‍රෙස්තා අත්අඩංගුවට ගෙන ඇත.
වාර්තාකරණ කටයුතු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කතුවරයෙකු සෘජුවම රඳවා තබා ගැනීම දකුණු ආසියාව පුරා මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ බරපතළ පහරක් බව SJF පවසයි.
ප්‍රකාශිත වාර්තා සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් ඒවා නේපාල පුවත්පත් කවුන්සිලය වැනි ස්ථාපිත නියාමන ආයතන හරහා හෝ සිවිල් නඩු ක්‍රියාමාර්ග ඔස්සේ විසඳිය යුතු බවද එම සංසදය අවධාරණය කරයි.
මාධ්‍යවේදීන් රඳවා තබා ගැනීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණ භාවිත කිරීම ස්වාධීන මාධ්‍ය කෙරෙහි බියකරු බලපෑමක් ඇති කරන බවත්, මහජන අවශ්‍යතා සම්බන්ධ විමර්ශන මාධ්‍යකරණය අඩාල කරන බවත් SJF පෙන්වා දෙයි.
මාධ්‍ය නිදහස සාර්ක් කලාපය පුරා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණක් බව අවධාරණය කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙසද SJF නේපාල බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
කිෂෝර් ශ්‍රෙස්තා වහාම නිදහස් කිරීම, මාධ්‍ය වෘත්තිකයන්ට එරෙහිව අපරාධ නීතිය භාවිත කිරීම නතර කිරීම, නිසි නියාමන ක්‍රියාවලියට ගරු කිරීම සහ සියලු මාධ්‍ය සේවකයන් සඳහා ආරක්ෂිත, බියගැන්වීමෙන් තොර පරිසරයක් සහතික කිරීම එම සංසදයේ ඉල්ලීම් අතර වේ.
නේපාල මාධ්‍ය ප්‍රජාව සමඟ අඛණ්ඩ සහයෝගීතාවයෙන් සිටින අතරම, සිද්ධියේ ඉදිරි වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන බව SJF සභාපති රාජු ලාමා සඳහන් කර ඇත.




