සිරගත කර සිටින හිටපු පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සම්බන්ධයෙන් එරට හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර් පෞද්ගලික පළිගැනීමක නිරත වන බවට ඔහුගේ පුතුන් වන කාසිම් ඛාන් සහ සුලයිමාන් ඛාන් චෝදනා කර තිබේ. තම පියා බන්ධනාගාරය තුළ දැඩි තත්ත්වයන්ට මුහුණ දෙමින් සිටින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලක් පවතින බවත් ඔවුහු පවසති.
2023 වසරේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රාවල්පින්ඩිහි අඩියාලා බන්ධනාගාරයේ රඳවා සිටින ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවකට අදාළව වසර 14ක සිර දඬුවමක් විඳිමින් සිටී. ඔහුගේ පුතුන් පවසන්නේ මාස හයකට වැඩි කාලයක් තිස්සේ තම පියා සමඟ කතා කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබුණු බවයි.
ඔවුන් පවසන්නේ ඉම්රාන් ඛාන් කුඩා කුටියක හුදකලාව රඳවා ඇති බවත්, පවුලේ සාමාජිකයන් සහ ස්වාධීන වෛද්‍යවරුන් සමඟ සම්බන්ධ වීමට ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබෙන බවත්ය. ඔහුගේ ඇස් සම්බන්ධ රෝගී තත්ත්වය සහ අනෙකුත් සෞඛ්‍ය ගැටලු පිළිබඳවද ඔවුහු කනස්සල්ල පළ කරති.
ඉම්රාන් ඛාන්ට පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාදීම, පවුලේ සාමාජිකයන්ට ඔහුව හමුවීමට ඉඩදීම සහ ඔහු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් පකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග නිකුත් කර තිබුණි. එම නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිමය අභියෝගද මතුව තිබේ.
කෙසේ වෙතත්, පකිස්ථාන රජය ඉම්රාන් ඛාන්ට අයහපත් ලෙස සලකන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ ඥාතීන් සමඟ දුරකථන සම්බන්ධතා ලබාදී ඇති බව පවසයි.
මේ අතර, ඉම්රාන් ඛාන් විසින් 1996දී ආරම්භ කළ පකිස්ථාන තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂය ඔහුගේ නිදහස ඉල්ලා මෙම මාසයේ අගභාගයේදී රටපුරා පාගමනක් සංවිධානය කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.




