පස් හැවිරිදි පලස්තීන දැරියක වූ හින්ද් රාජබ් සහ ඇගේ ඥාතීන් හයදෙනෙකු 2024 වසරේ ගාසා තීරයේදී ජීවිතක්ෂයට පත්වූ වෙඩි තැබීම තම හමුදා භටයන් අතින් සිදුවූවක් බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රථම වරට තහවුරු කර තිබේ.
හින්ද් රාජබ් බේරාගැනීමට පැමිණි පලස්තීන රතු අඩ සඳ සංගමයේ වෛද්‍යවරුන් දෙදෙනා මියයෑම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම හමුදාව සඳහන් කරයි.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ලබාදී තිබූ පූර්ව දැනුම්දීම්වලට පටහැනිව ගමන් කළ වාහනයකට හමුදා භටයන් වෙඩි තබා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.
BBC පුවත් සේවයට අනුව, පලස්තීන රතු අඩ සඳ සංගමයේ ගිලන් රථයේ ගමනාගමනය සම්බන්ධීකරණය කිරීමේදී සිදුවූ බව කියන දෝෂ හේතුවෙන්, හමුදා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ප්‍රහාරයෙන් මුලින් දිවි ගලවාගත් හින්ද් රාජබ් පැය ගණනාවක් පලස්තීන රතු අඩ සඳ සංගමයේ දුරකථන මෙහෙයුම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් තමන්ව බේරාගන්නා ලෙස ඉල්ලා සිටියාය.
ඊශ්‍රායල හමුදාව සමඟ සම්බන්ධීකරණයෙන් පසුව යූසුෆ් අල්-සෙයිනෝ සහ අහමඩ් අල්-මධූන් යන වෛද්‍යවරුන් දෙදෙනා රැගත් ගිලන් රථයක් ඇය වෙත යවා තිබිණි. පලස්තීන රතු අඩ සඳ සංගමය පැවසුවේ එම ගිලන් රථයට ද ප්‍රහාරයක් එල්ල වී වෛද්‍යවරුන් දෙදෙනාම මියගිය බවයි.
හින්ද් රාජබ් සහ ඇගේ ඥාතීන්ගේ සිරුරු දින කිහිපයකට පසුව සොයාගෙන තිබේ.
ඇය උපකාර ඉල්ලා කළ සංවේදී දුරකථන ඇමතුම්වල හඬ පට ලොව පුරා ප්‍රචාරය වීමත් සමඟ මෙම සිදුවීම ජාත්‍යන්තර අවධානයට ලක්විය. ඇගේ කතාව පසුව ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ “The Voice of Hind Rajab” සිනමාපටයට ද වස්තු විෂය වී තිබේ.
බ්‍රසල්ස් නුවර පදනම් කරගත් හින්ද් රාජබ් පදනම ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල හමුදාව විසින් සිදුකරන පරීක්ෂණය කෙරෙහි තමන්ට විශ්වාසයක් නොමැති බවයි. ඊශ්‍රායලයේ අභ්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයේ විශ්වාසනීයත්වය ද එම පදනම ප්‍රශ්න කර තිබේ.
කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසන්නේ ඊශ්‍රායල සහ ජාත්‍යන්තර නීතිය යටතේ පැවරී ඇති වගකීම් අනුව, සටන් පවතින අවස්ථාවල සිදුවන සුවිශේෂී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි.




