හදිසි
Island edition
··
LankaNews
ලෝකය

නොවොරොසියිස්ක් වරායට යුක්‍රේන ප්‍රහාරයක්

රුසියාවේ කළු මුහුදු තීරයේ පිහිටි නොවොරොසියිස්ක් වරායට යුක්‍රේනය විසින් එල්ල කළ බව කියන දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය…

By Site Administrator2 මිනිත්තු කියවීම
නොවොරොසියිස්ක් වරායට යුක්‍රේන ප්‍රහාරයක්

රුසියාවේ කළු මුහුදු තීරයේ පිහිටි නොවොරොසියිස්ක් වරායට යුක්‍රේනය විසින් එල්ල කළ බව කියන දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කර තිබේ.

යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ රුසියානු නාවික කඳවුරක් ඉලක්ක කර ගනිමින් රොකට්, ගුවන් ඩ්‍රෝන සහ නාවික ඩ්‍රෝන යොදා මෙම මෙහෙයුම සිදුකළ බවයි.

යුක්‍රේන හමුදාව පසුව සඳහන් කර ඇත්තේ ප්‍රහාරයෙන් රුසියානු යුද නෞකා හතරකට, එහි ෆ්‍රිගේට් නෞකා දෙකකටද හානි සිදුව ඇති බවයි. කෙසේ වෙතත්, රුසියාව මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බව BBC වාර්තා කරයි.

රුසියානු කළු මුහුදු නාවික බලඇණියේ සැලකිය යුතු කොටසක් නොවොරොසියිස්ක් වරායේ රඳවා ඇති අතර, යුක්‍රේන ප්‍රහාරවල අවදානම හේතුවෙන් රුසියාවට ක්‍රිමියාවේ සෙවාස්ටොපෝල් නාවික කඳවුරෙන් නෞකා ඉවත් කිරීමට සිදුව තිබිණි.

ප්‍රහාරයෙන් අනතුරුව නොවොරොසියිස්ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, වරාය ආශ්‍රිත ප්‍රදේශවල නල පද්ධතිවලට හානි සිදුවීම හේතුවෙන් ජල සැපයුමද තාවකාලිකව අත්හිටුවා තිබේ.

ප්‍රධාන ධාන්‍ය වෙළෙඳ සමාගම් දෙකක් සිය පර්යන්තවලට ප්‍රහාර එල්ල වූ බව තහවුරු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ධාන්‍ය ප්‍රවාහන කටයුතු බෝල්ටික් සහ කැස්පියන් මුහුදු වරායන් වෙත මෙන්ම ගොඩබිම් මාර්ග වෙත යොමු කිරීමට රුසියානු කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

රුසියාව ලොව ප්‍රධාන තිරිඟු අපනයනකරුවෙකු වන බැවින්, කළු මුහුදු සහ අසෝව් මුහුදු ප්‍රදේශවලට එල්ල වන ප්‍රහාර හේතුවෙන් ගෝලීය ධාන්‍ය සැපයුමට ඇති විය හැකි බලපෑම් පිළිබඳවද අවධානය යොමුව තිබේ.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න