හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුරස්ථිති පිළිකාව අස්ථි දක්වා සහ ඉන් ඔබ්බට පැතිර ගොස් ඇති බවත්, ඔහු දැඩි වේදනාවකින් පසුවන බවත් ඔහුගේ පුත් හන්ටර් බයිඩන් පවසයි.
BBC Newsnight වැඩසටහන සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හන්ටර් බයිඩන් සඳහන් කළේ තම පියාගේ පිළිකා තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බවයි. පිළිකාව ශරීරය පුරා පැතිර ගොස් ඇති අතර, එය දැඩි වේදනාවක් ඇති කරමින් ඔහුට විවිධ ආකාරයෙන් බලපා ඇති බවද ඔහු සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, හන්ටර් බයිඩන්ගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ජෝ බයිඩන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
2025 මැයි මාසයේදී ජෝ බයිඩන් පළමුවරට අනාවරණය කළේ තමන් උග්‍ර පුරස්ථිති පිළිකාවකින් පෙළෙන බවත්, එය අස්ථි දක්වා පැතිර ගොස් ඇති බවත්ය. පසුව ඔක්තෝබර් මාසයේදී ඔහු විකිරණ සහ හෝමෝන ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
2021 සිට 2025 දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කළ බයිඩන්, 2020 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන විට එම ධුරයට පත්වූ වයස්ගතම පුද්ගලයා බවට පත්විය.
පිළිකා තත්ත්වය හමුවේ වුවද, ඔහු පසුගිය ජූනි මාසයේදී චිකාගෝහි පැවති බරක් ඔබාමා ජනාධිපති පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය. බයිඩන් 2009 සිට 2017 දක්වා ඔබාමා පාලනය යටතේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
ඔහුගේ ජනාධිපති ධුර කාලය පිළිබඳ ස්වයංචරිතාපදාන කෘතියක් ලබන නොවැම්බර් 17 වනදා එළිදැක්වීමට නියමිත බවද වාර්තා වේ.




