ලෝක ප්‍රකට කඳු නැගීමේ ශූර නේපාල ජාතික නිර්මාල් පුර්ජා ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුවැටියේ සිදු වූ හදිසි හිම කුණාටුවකට හසු වී අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තාන කඳු නැගීමේ සංගමයට අනුව, කරකෝරම් කඳු පන්තියේ අඩි 26,400ක් උසැති බ්‍රෝඩ් පීක් කඳු මුදුන තරණය කරමින් සිටියදී බ්‍රහස්පතින්දා දහවල් මෙම කණ්ඩායම හදිසි හිම කුණාටුවකට මුහුණ දී තිබේ.
මෙම කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ලොව උසම කඳු මුදුන් 14ම තරණය කළ නේපාල ජාතික කඳු නැගීමේ ශූර නිර්මාල් පුර්ජාය. ඔහුගේ කඳු නැගීමේ ජයග්‍රහණ ඇසුරින් "14 Peaks: Nothing is Impossible" නමැති නෙට්ෆ්ලික්ස් වාර්තා චිත්‍රපටයද නිර්මාණය කර ඇත.
අතුරුදහන් වූ කණ්ඩායමට අමෙරිකානු, ටෙක්සාස් ප්‍රාන්තයේ කාන්තාවක, ඕමාන් සහ චීන ජාතිකයෙකු මෙන්ම නේපාල ජාතික කඳු නැගීමේ ශූරයන් පස්දෙනෙකුද ඇතුළත් බව වාර්තා වේ.
මේ වන තෙක් කණ්ඩායම සමඟ කිසිදු සන්නිවේදන සබඳතාවක් ගොඩනගා ගැනීමට නොහැකි වී ඇති අතර, ඔවුන් සොයා දැවැන්ත සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.




