2023 ජනවාරි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ව්‍යාජ සමාගම් 105ක් ඔස්සේ ඇමෙරිකානු ඩොලර් මිලියන 715කට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යවා ඇති බව අනාවරණය වීමත් සමඟ, 2023 ජනවාරි මාසයට පෙර සිදුවූ මෙවැනි ව්‍යාජ ආනයන ලේඛන සම්බන්ධයෙන්ද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කළ ඉල්ලීමකට අනුව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
ඩුබායිහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ අන්තර්ජාතික මුදල් විශුද්ධිකරණ ජාලයන්ට අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයන් 55 දෙනකු, බැංකු ගිණුම් 227ක් සහ බැංකු හරහා සිදුකළ ටෙලිග්‍රැෆික් හුවමාරු 24,300ක් පමණ CIDය විසින් මේ වන විට හඳුනාගෙන ඇත.
වාණිජ බැංකු, ශ්‍රී ලංකා රේගුව සහ අදාළ අමාත්‍යාංශ අතර විදේශ ප්‍රේෂණ සහ සැබෑ භෞතික ආනයනයන් පිළිබඳ තොරතුරු සැසඳීමේදී විශාල අඩුපාඩු පැවති බවද හෙළි වී තිබේ.
විදේශ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට පටන්ගත් අවස්ථාවේ භාණ්ඩ ආනයනය සඳහා අධික ඉල්ලුමක් පැවතුණද, එම භාණ්ඩ දිවයිනට ලැබී නොතිබූ බවත්, ඒ පිළිබඳ සිදුකළ සොයාබැලීමේදී මෙම මහාපරිමාණ මූල්‍ය වංචාව අනාවරණය වූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයකු සඳහන් කර ඇති බව ‘Sunday Times’ පුවත්පත වාර්තා කරයි.
මීට පෙර මෙවැනි වංචා රේගුව වැනි ආයතනවලට හසුවූ අවස්ථාවලදී ව්‍යාපාරිකයන් දේශපාලන බලපෑම් යොදාගනිමින් නීතියෙන් බේරීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙවර විමර්ශනවලදී මුදල් යවන ලද ව්‍යාජ සමාගම් සම්බන්ධයෙන්ද දැඩි පරීක්ෂණ සිදුකරමින් පවතී.
මීට අමතරව, වානේ ආශ්‍රිත ගෘහ භාණ්ඩ අලෙවි කරන සමාගමක් සම්බන්ධයෙන්ද මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ පරීක්ෂණයක් පැවැත්වෙන අතර, ඊට අදාළ නඩුවක් මහාධිකරණයේ විභාග වෙමින් පවතී.
මෙම තත්ත්වය හමුවේ, අධිකරණ නියෝගයකින් තොරව දින 14ක් සඳහා ද්විතීයික වත්කම් තහනම් කිරීමට බලධාරීන්ට බලය ලබාදෙමින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතට සහ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනතට පාර්ලිමේන්තුව විසින් දැඩි සංශෝධන ඇතුළත් කර සම්මත කර තිබේ.




