හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බවට පැතිර යන ප්‍රවෘත්තියක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ පාර්ශ්වය සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය අතර මතභේදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
මෙම පාර්ශ්ව දෙකෙන් එක් පාර්ශ්වයක් විසින් මහින්ද රාජපක්ෂ මහතා හදිසි හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට අද පෙරවරුවේ ප්‍රවෘත්තියක් ප්‍රචාරය කර තිබේ.
අදාළ ප්‍රවෘත්තිය පළ කළ පාර්ශ්වයෙන් නැවත විමසීමක් සිදුකිරීමෙන් අනතුරුව Ceylonwire.lk වෙබ් අඩවිය ද එම පුවත පළ කර ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා රෝහල්ගත කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බවට පැතිර යන ආරංචි සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, විරුද්ධවාදීන් මෙවැනි අසත්‍ය සහ ද්වේශසහගත ප්‍රචාර පතුරුවා හරිමින් හිටපු ජනාධිපතිවරයා දේශපාලන පීඩනය හමුවේ දුර්වල වී ඇති බව පෙන්වීමට උත්සාහ කරන බවත්ය.
මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සියලු දෙනා සිරගත කළ ද ඔහු ශාරීරිකව හා මානසිකව ශක්තිමත් නායකයකු බව ද මනෝජ් ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා රෝහල්ගත කර ඇති බවට පැතිර ගිය ප්‍රවෘත්තිය ප්‍රචාරය කළේ කවුරුන් විසින් ද යන්න පිළිබඳව ද ප්‍රශ්න මතු වී තිබේ.




