හල්දුම්මුල්ල, සොරගුණේ උපතැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ලියුම් බෙදන්නකු විසින් බෙදාහැරීමට නියමිතව තිබූ ලිපි 2,078ක් බෙදා නොහැර සිය නිවසේ මෙට්ටයක් යට සඟවාගෙන සිටියදී සොයාගෙන ඇති බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරගුණේ උපතැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයෙකි.
සැකකරුගේ නිවසේ නීති විරෝධී මත්පැන් (කසිප්පු) ඇති බවට හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක ඉඳුනිල් රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම නිවස පරීක්ෂා කර තිබේ.
එහිදී මෙට්ටය යට ගොඩගසා තිබූ ලියාපදිංචි ලිපි 12ක් සහ සාමාන්ය තැපෑලට අයත් ලිපි තොගයක් පොලිසිය සොයාගෙන ඇත. එම ලිපි සංඛ්යාව 2,078ක් බව වාර්තා වේ.
සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී වසර හයකට අධික කාලයක් තිස්සේ ලිපි බෙදාහැරීම සිදු නොකර ඒවා නිවසේ මෙට්ටය යට සඟවා තබාගෙන සිටි බව අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.




