ශ්රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ (IT) පද්ධති හැකර්වරුන්ගේ ග්රහණයට ලක්ව ඇති බවට පළවන මාධ්ය වාර්තා සහ ප්රකාශ තරයේ ප්රතික්ෂේප කරන බව එම ගුවන් සේවය නිවේදනය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ, 2026 ජුනි 29 වැනිදා බාහිර පාර්ශ්වයක් විසින් සිදුකළ බව කියන සයිබර් ප්රහාරයක් පිළිබඳව පළවූ වාර්තාවක් පදනම් කරගෙන මෙම චෝදනා එල්ල වී ඇති බවයි.
එම වාර්තාව පිළිබඳව දැනුවත් වූ වහාම ක්ෂණික පරීක්ෂණ, තාක්ෂණික ඇගයීම් සහ පූර්වාරක්ෂක පියවර ක්රියාත්මක කළ බව ද ගුවන් සේවය සඳහන් කළේය.
එම පරීක්ෂණවලින් හෙළි වූ කරුණු අනුව, සමාගමේ අභ්යන්තර තොරතුරු තාක්ෂණ පද්ධතිවලට හෝ මෙහෙයුම් පද්ධතිවලට අනවසරයෙන් ප්රවේශ වීමක්, දත්ත සොරාගැනීමක් හෝ සේවාවන්ට බාධා කිරීමක් සිදුව නොමැති බව තහවුරු වී ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
විද්යුත් තැපෑල ඇතුළු සමාගමේ සියලුම පද්ධති සහ සේවාවන් බාධාවකින් තොරව අඛණ්ඩව ක්රියාත්මක වන බවත්, මෙහෙයුම් කටයුතුවලට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් ශ්රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම, අදාළ පාර්ශ්වය විසින් බිට්කොයින්, ඇමෙරිකානු ඩොලර් හෝ වෙනත් කිසිදු ආකාරයකින් කප්පම් ඉල්ලා නොමැති බවත්, කප්පම් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවත් ගුවන් සේවය අවධාරණය කරයි.
ඒ අනුව, සිය තොරතුරු තාක්ෂණ පද්ධති හැකර්වරුන්ගේ පාලනය යටතේ පවතින බවට කෙරෙන චෝදනා ශ්රීලංකන් ගුවන් සේවය සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරයි.
මගීන්, සේවකයන් සහ ව්යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් විශ්වාසනීය සේවාවක් අඛණ්ඩව සැපයීම සඳහා සිය තොරතුරු පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටින බව ද ගුවන් සේවය නැවතත් අවධාරණය කළේය.
මේ අතර, ශ්රීලංකන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධති හැකර්වරුන්ගේ ග්රහණයට ලක්ව ඇති බවට වූ පුවතක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා විසින් ප්රසිද්ධියට පත්කර තිබිණි.




