‘සිරියලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළාය.
පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව විමර්ශන නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවාගෙන එනු ලැබීය.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ මුදල් තවමත් සුදුවැල්ල ශාඛාවේ පිහිටි ‘සිරියලිය සවිය’ ගිණුමේ සුරක්ෂිතව පවතින බව පැවසීය.
සී.ටී. ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 160ක මුදලක් අවශ්‍යව තිබූ නමුත්, 2014 වසර වන විට එකතු කර ගැනීමට හැකිව තිබුණේ රුපියල් මිලියන 42ක් පමණක් බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩු පෙරළියෙන් පසුව කරන ලද පැමිණිල්ලකට අනුව එම ගිණුම අත්හිටුවා ඇති බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, ‘සිරියලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතා රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඔහුට විදේශගතවීමේ තහනමක්ද පනවා ඇත.




