හදිසි
Island edition
··
LankaNews
දේශපාලන

“සිවුරේ දේශපාලනයක් වගේම සිවුර ගැලවීමේ දේශපාලනයකුත් තියෙනවා”

භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්ධයෙන් අපේ අධ්‍යාත්මයේ ඇති ගෞරවය සමඟ සලකා බැලූ විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඡායාරූපය කම්පනයක් ඇති කරන දසුනක් බව දේශපාලන විශ්ලේෂකයකු පවසයි. භික්ෂු චීවරයෙන් සිටි උන්වහන්සේ…

By Site Administrator2 මිනිත්තු කියවීම
“සිවුරේ දේශපාලනයක් වගේම සිවුර ගැලවීමේ දේශපාලනයකුත් තියෙනවා”

භික්ෂුව සහ භික්ෂූ රූපය සම්බන්ධයෙන් අපේ අධ්‍යාත්මයේ ඇති ගෞරවය සමඟ සලකා බැලූ විට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඡායාරූපය කම්පනයක් ඇති කරන දසුනක් බව දේශපාලන විශ්ලේෂකයකු පවසයි.

භික්ෂු චීවරයෙන් සිටි උන්වහන්සේ එකවරම සුදු ඇඳුමින් හෝ ජම්පරයකින් දැකීම බොහෝ දෙනාට මානසිකව තරමක් අපහසු දසුනක් බවත්, සමාජ මාධ්‍යවල පළවූ ප්‍රතිචාරවලින්ද එය පැහැදිලි වන බවත් ඔහු සඳහන් කරයි. මෙය සිංහල බෞද්ධ ප්‍රජාව තුළ වෙනම සාකච්ඡාවකට ලක්විය හැකි මාතෘකාවක් බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් චීවරය දරන සමයේ තම හැසිරීම තුළින් චීවරයට අගෞරවයක් නොවන ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබූ බව ඔහු පවසයි.

බොදු බල සේනා සංවිධානය ඉතා ජනප්‍රියව පැවති කාලයේ ඥානසාර හිමියන් තමන්ට ඉහළින් කිසිවෙකු නොමැති ආකාරයෙන් කටයුතු කළ බවත්, එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයේ දේශපාලන ශක්තියද ඒ සඳහා භාවිත වූ බවත් ඔහු සඳහන් කරයි.

අද ඥානසාර හිමියන් කිසිදු ආණ්ඩුවක් තම චීවරයට අත නොතැබූ බව ප්‍රකාශ කළද, අතීතයේ තමන් ගමන් කළ ආකාරය අනුව යම් දිනක තම චීවරය පවා ගලවා දැමිය හැකි තත්ත්වයකට පත්විය හැකි බව එදාම සිතා බැලිය යුතුව තිබූ බවද ඔහු පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එම බලය මත අධිකරණය තුළ පවා දැඩි ලෙස හැසිරුණු බවත්, අවසානයේ තමන්ගේ ප්‍රබලතම සංකේතය වූ චීවරයම අහිමි වන තත්ත්වයකට පත්ව ඇති බවත්ය.

“හැමදාම සිවුර තිබුණා කියලා ඕනෑම දෙයක් කරන්න බැහැ. අපි නීතියට සහ ස්වභාව ධර්මයට යටත්. යම් දේශපාලනයක් කරන විට එම දේශපාලනය හේතුවෙන් අනෙක් මිනිසුන්ට ඇතිවිය හැකි වේදනාව ගැනත් සිතිය යුතුයි” යනුවෙන් ඔහු සඳහන් කරයි.

බොදු බල සේනා සංවිධානයේ ඩිෆෙන්ඩර් රථ පෙළපාලිය පිළිබඳවද සඳහන් කරමින් ඔහු පවසන්නේ එම කාලයේදී සිංහල ජනතාවට පවා බියක් ඇති කළ දේශපාලන ස්වරූපයක් එහි පැවති බවත්, සුළු ජාතීන් සම්බන්ධයෙන් එහි බලපෑම තවත් බරපතළ වූ බවත්ය.

අවසානයේ ඔහු පවසන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමන් මෙවැනි තත්ත්වයකට පත්වනු ඇතැයි හෝ තමන් සතු බලසම්පන්න සංකේතයක් වූ චීවරය අහිමි වනු ඇතැයි නොසිතන්නට ඇති නමුත්, එය ඔහු ගමන් කළ දේශපාලන ගමන තුළම සනිටුහන් වී තිබූ බවයි.

“සිවුර තියෙන එකේ දේශපාලනයක් තියෙනවා වගේම සිවුර ගලවන එකෙත් දේශපාලනයක් තියෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

බෙදා ගන්න:

About Site Administrator

Lanka News administrator

අදාළ ලිපි

අදහස් (0)

අදහසක් තබන්න

පළමු අදහස තබන්න