ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
ඔහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී, අද (06) පෙරවරුවේ අයිස් මත්ද්‍රව්‍ය සමඟ මහින්ද කහඳගම මහතා අත්අඩංගුවට ගැනීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සමත් වී ඇත.
වැඩිදුර විමර්ශනවලදී ඔහු ඩුබායි වෙත ගොස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සමඟ සාදයකට සහභාගී වූ දර්ශන පෙළක් විමර්ශන නිලධාරීන්ට හමුවී තිබේ.
එම දර්ශනවල 'මෝදර නිපුන' නමැති අපරාධකරුගේ සහෝදරයා වන චතුර දිල්රුක්ෂාන් සහ 'කෙසෙල්වත්තේ දිනූෂ' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිටින බවත්, ඔවුන් සමඟ කහඳගම මහතා සමීපව කටයුතු කරන ආකාරය එම දර්ශනවල දැක්වෙන බවත් පොලීසිය පවසයි.
එහිදී ඔවුන් කහඳගම මහතාට 'ඩැඩා' යනුවෙන් ආමන්ත්‍රණය කරන බවද අනාවරණය වී තිබේ.
එමෙන්ම 'ඉබ්බගේවත්තේ සුජී' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟද ඔහු සමීප සබඳතා පවත්වා ඇති බවත්, ඔවුන් අතර සිදු වූ දුරකථන සංවාද සම්බන්ධ තොරතුරුද විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇති බවත් සඳහන් වේ.
'ඉබ්බගේවත්තේ සුජී'ගෙන් ලබාගත් අයිස් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් කහඳගම මහතාට මරණ තර්ජන පවා එල්ල වී තිබූ බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
මේ අතර, මහින්ද කහඳගම මහතාගෙන් ලද තොරතුරු මත සිදු කළ වැටලීමකදී, අදාළ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,100ක් සමඟ නුගේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් ඇති අතර, ඔවුන් අද (06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.




