වැඩිදුර සාක්ෂි විමසීමකින් තොරව තමන්ව නිදහස් කරන ලෙස මහබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළ නියෝගය මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.8ක පාඩුවක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේදී, පැමිණිල්ල විසින් එම චෝදනා සනාථ කිරීමට අපොහොසත් වී ඇති බව කබ්රාල් මහතා සිය ඉල්ලීම මගින් පෙන්වා දී තිබිණි.
මනෝජ් තල්ගොඩපිටිය මහතාගේ සභාපතිත්වයෙන්, උදේශ් රණතුංග සහ බුද්ධික ශ්‍රී රාගල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ ඩිලාන් රත්නායක මහතා විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය.
මෙම ගනුදෙනුව නීත්‍යානුකූල ආයෝජනයක් බවත්, කබ්රාල් මහතාට එරෙහිව කිසිදු අපරාධමය වගකීමක් තහවුරු වී නොමැති බවත් ජනාධිපති නීතිඥ රත්නායක මහතා අධිකරණය හමුවේ පැවසීය.
එම චෝදනා පදනම් කරගනිමින් සිය සේවාදායකයාට එරෙහිව චෝදනා ගොනු කළ සිව්වැනි අවස්ථාව මෙය බවද ඔහු පෙන්වා දුන්නේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ අනුෂා සම්බන්දන්පෙරුම මහත්මිය පැමිණිල්ල මෙහෙයවනු ලැබුවාය.




