කිලිනොච්චිය, පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවතින බවට ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංගීත් ජයසේකර නමැත්තා ලබන 07 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) අධිකරණයට දැනුම් දුන්නේ, අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස තමන්ව හඳුන්වාගත් සැකකරු, පසුගිය අගෝස්තු 14 වැනිදා කොළඹ පිහිටි හෝටලයකදී මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම අසත්‍ය ප්‍රකාශය සිදුකර ඇති බවයි.
විමර්ශනවලදී සැකකරු ජාතික හැඳුනුම්පත් තුනක් තබාගෙන ඇති බවත්, තවත් ව්‍යාජ ලේඛන රැසක් සකස් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන්ම, කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකු විසින් තමන්ට මෙම තොරතුරු ලබාදුන් බව සැකකරු ප්‍රකාශ කර තිබුණද, අදාළ නිලධාරියාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ලබාගත් ප්‍රකාශවලදී එවැනි තොරතුරක් ලබා නොදුන් බව තහවුරු වී ඇතැයි පොලිසිය සඳහන් කළේය.
සැකකරුගේ දුරකථන වාර්තා සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමට සහ ව්‍යාජ හැඳුනුම්පත් භාවිතය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.




