‘අරගලය’ සමයේ ගාලු මුවදොර ‘ගෝටා ගෝ හෝම්’ විරෝධතාකරුවන්ට 2022 මැයි මාසයේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි ‘ද සන්ඩේ ටයිම්ස්’ වාර්තා කර තිබෙනවා.
එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ, සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
ප්‍රහාරයෙන් විරෝධතාකරුවන් රැසකට බරපතළ තුවාල සිදුවූ අතර, මහින්ද රාජපක්ෂට එරෙහිව චෝදනා නැගීමට විමර්ශකයන් ඉදිරිපත් කළ සාක්ෂි ප්‍රමාණවත් නොවන බවට නිගමනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත්, එවකට අග්‍රාමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු නොකළද, ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, තත්ත්වානුකූල සාක්ෂි සහ සිදුවීම වූ ස්ථානයේ වීඩියෝ දර්ශන පිළිබඳ විශේෂඥ විශ්ලේෂණ මත පදනම්ව වෙනත් සැකකරුවන් 34 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල කිරීමට නිර්දේශ කර තිබෙනවා.
එම සැකකරුවන්ගෙන් තිදෙනෙකු මේ වනවිට මියගොස් ඇති අතර, ඔවුන් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, දේශපාලන ක්‍රියාකාරික ඩෑන් ප්‍රියසාද් සහ හිටපු වෘත්තීය සමිති නායක වසන්තා හඳපාන්ගොඩ යන අය බව සඳහන්.
ඉතිරි සැකකරුවන් 31 දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ එකම අධිචෝදනා පත්‍රයක් ගොනු කිරීමට නියමිත බව වාර්තා වනවා.
නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 327ක් යටතේ ඔවුන්ට අධිචෝදනා ගොනු කිරීමට නියමිත බවද සඳහන්.
මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙස නීතිපති පාරින්ද රණසිංහ, අග්‍රවිනිශ්චයකාර ප්‍රීති පද්මන් සුරසේනගෙන් ඉල්ලා ඇති බවද ‘ද සන්ඩේ ටයිම්ස්’ වාර්තා කර තිබෙනවා.
අධිචෝදනා ලැබීමට නියමිත සැකකරුවන් අතර හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක සහ තවත් හිටපු දේශපාලනඥයන් හා ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙකු සිටින බව වාර්තා වනවා.




