ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් සමඟ සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026 සැප්තැම්බර් 22 වැනිදා උදෑසන මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ගිරිඋල්ල නගරයේ සිට එම මෝටර් රථය පසුපස හඹා ගොස් පන්නල නගරයේදී එය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර තිබේ.
එහිදී පොලිස් අණ නොතකා මෝටර් රථය නැවත ධාවනය කිරීමට උත්සාහ කරමින් පොලිස් නිලධාරීන්ට අනතුරක් සිදු කිරීමට උත්සාහ කළ බව පොලිසිය පවසයි. එම අවස්ථාවේදී මෝටර් රථයේ පසුපස රෝදයට වෙඩි තබා තිබේ.
මෝටර් රථයේ දොරවල් විවෘත නොකිරීම හේතුවෙන් නිලධාරීන් විසින් ඉදිරිපස වම්පස දොරේ වීදුරුව කඩා සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු මෝටර් රථයෙන් පිටතට ගෙන පරීක්ෂා කර ඇත.
එහිදී මෝටර් රථය තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 260ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට සැක කරන රුපියල් 924,770ක මුදලක් සොයාගෙන තිබේ. සැකකරුවන් මෝටර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි අයෙකු වන අතර සැකකාරියන් දෙදෙනා අවුරුදු 39 සහ 16 වයස්වල පසුවන නෙළුම්දෙනිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත ඔවුන් පදිංචිව සිටි නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 62ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් බවට සැක කරන රුපියල් 1,680,000ක්, මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ඇසුරුම් ලෙස භාවිත කළ බෝතල් මූඩි 500ක්, විනිවිද පෙනෙන බට රෝලක් සහ ප්ලාස්ටික් නල 2,235ක් සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




