ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ අභියෝගයට ලක්කර තිබූ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමන් වෙත ලැබී ඇති බව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, පනත් කෙටුම්පතේ 3, 4, 6(0) සහ 6(5) වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන අතර, ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය.
කෙසේ වෙතත්, 6 සහ 7 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(අ) වගන්ති සමඟ නොගැළපෙන බැවින්, ඒවා සම්මත කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) වගන්තිය යටතේ අවශ්‍ය විශේෂ බහුතරය ලබාගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
තවද, 7 වැනි වගන්තිය වත්මන් ස්වරූපයෙන් පැවතීම 12(1) වගන්තියට පටහැණි බැවින්, 81 වැනි වගන්තිය අහෝසි කිරීමට අදාළ යෝජනාව ඉවත් කරගත යුතු බවද අධිකරණය පෙන්වා දී තිබේ. එම වගන්තිය ඉදිරියට ගෙන යන්නේ නම්, එය 82(5) වගන්තිය සමඟ කියවෙන 84(2) වගන්තිය යටතේ නියමිත විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු වේ.
එමෙන්ම, 88(1)(එෆ්) වගන්තිය හඳුන්වා දෙන 11(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බැවින්, එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට යෝජිත 11(2) වගන්තියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1), 14(1)(අ) සහ 14(අ) වගන්තිවලට පටහැණි නොවන බැවින්, එයද සරල බහුතරයකින් සම්මත කළ හැකි බව තීරණයේ සඳහන් වේ.
විශේෂයෙන්ම, පනත් කෙටුම්පතේ 17 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය සමඟ කියවෙන 4(ඇ) වගන්තියට පටහැණි බවත්, 13(2) වගන්තිය මගින්ද එම නිගමනය තවදුරටත් තහවුරු වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.
ඒ අනුව, 17 වැනි වගන්තිය නීතියක් බවට පත්වීමට නම් එය 84(2) වගන්තිය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට අමතරව, 83 වැනි වගන්තිය යටතේ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියද ලබාගත යුතු වේ.




